ඔස්ට්‍රේලියානු දූපත්වල සීල් සත්වයන්ට අපල කාලයක්
June 19, 2026 02:42 pm
දරුණු කුරුළු උණ වෛරසයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට අයත් ඇන්ටාක්ටික් දූපත්වල වෙසෙන දකුණු අලි සීල් (Southern Elephant Seal) පැටවුන් දසදහස් ගණනක් මියගොස් ඇති බව නවතම පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවට කිලෝමීටර් 4,000ක් පමණ නිරිත දෙසින් පිහිටි මුහුදු පක්ෂීන් සහ සීල් සතුන් මිලියනයකට අධික සංඛ්‍යාවකගේ ප්‍රජනන භූමියක් වන හර්ඩ් සහ මැක්ඩොනල්ඩ් දූපත් ආශ්‍රිතව මෙම ඛේදනීය තත්ත්වය වාර්තා වී ඇත.
විද්‍යාඥයන් විසින් පසුගිය ඔක්තෝබර් සහ ජනවාරි මාසවල රැස් කරන ලද දත්ත විශ්ලේෂණය කරමින් පෙන්වා දෙන්නේ, හර්ඩ් දූපතේ සිටි 17,000ක් පමණ වූ සීල් පැටවුන්ගේ කණ්ඩායමකින් 13,000ක් පමණ එනම් ගහනයෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා මියගොස් ඇති බවය.
මෙම සමූහ මරණවලට හේතුව කුරුළු උණ වෛරසයේ H5N1 ප්‍රභේදය බව හඳුනාගෙන ඇත.
මීට අමතරව එම දූපත්වල වෙසෙන පෙන්ගුවින් ගහනය අතර ද සාමාන්‍ය මට්ටමට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවී ඇති බව පර්යේෂකයන් නිරීක්ෂණය කර තිබේ.
ලොව පුරා පක්ෂීන් අතර මෙන්ම ඇතැම් ක්ෂීරපායී සතුන් අතර ද මෙම H5N1 කුරුළු උණ ප්‍රභේදය ව්‍යාප්ත වී තිබුණත්, ඔස්ට්‍රේලියානු මහද්වීපය තුළින් මීට පෙර කිසිදු H5N1 වෛරස් ආසාදිත සත්ත්වයෙකු වාර්තා වී නොතිබුණි.
ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාව සතු මෙම බාහිර දූපත් කලාපයෙන් වෛරසය හමුවීම විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
